ඇත්තටම එයා කවුද?????

කාව්‍යා යශ්විනි 9:32 PM |

මේ සිද්ධිය වෙනකොට අපි හිටියේ 8 වසරේ. අපි යාන්තම් teenage එකට පය තිබ්බා විතරයි එතකොට. ඒ වෙනකොට අපිට පිරිමි ළමයි ගැන තිබුනේ අමුතුම හැගීමක්. ඒ කියන්නේ අපිට ඒ වෙනකොට විරුද්ධ පාර්ශවය ගැන කිසිම ආදර සිතිවිල්ලක්/ ආකර්ෂණයක් පහල වෙලා තිබුනේ නෑ. තිබුනේ කැමැත්තයි අකමැත්තයි  අතර දෝලනය වුනු හැඟීමක්. හැබැයි ඒ කැමැත්ත සහෝදර කමකටත් වඩා අඩු සිතිවිල්ලක්.අපි ඒගොල්ලෝ එක්ක කතාබහ කරනවා, ඉඳහිට විහිලු තහළු කරනවා. හැබැයි බැරිවෙලා අහම්බෙකින් හරි ඇඟේ එහෙම හැප්පුනොත් එහෙම “ ඊයා........අද නම් detol දාලා නාන්න වෙයි” කියන හැඟීම තමයි  එන්නේ. හිතල විතරක්‌ ඉන්නේ නෑ. හැප්පුනු  එකාට ඇහෙන්න ඒක ප්‍රකාශත් කරනවා. එතකොට ඌත් හුඟක් වෙලාවට “ අප්පෝ.... මටත් දවස 7 ක් වත් නාන්න වෙයි” වගේ මොකක් හරි කියනවා අපිට against එකටත් එක්ක. ඒ කාලේ අපි දෙපාර්ශවයටම දෙගොල්ලෝ ගැන තිබුනේ ඔන්න ඔය වගේ හැඟීමක්.


කොහොමහරි අපේ කල්ලියේ නොහොත් cilque  එකේ හිටියේ අපි හතර දෙනයි. තාරුකා , මධු, සෙව්වන්දි  සහ මම. අපි නිතරම එකටම වගේ හිටියත් දෛවයේ  සරදමකට වගේ 8 වසර පන්ති වලට අපිව බෙදනකොට අපි වෙන්වුණා. තාරුකා, සෙව්වන්දි සහ මම 8 E පන්තියටත් මධු විටරක්‌ තනියම 8 B පන්තියටත් කොටුවුනා.
“මොනා කරන්නද ? වෙනස් කරගන්න විදියකුත් නැහැනේ, මේ අවුරුද්දට ඔහොම ඉමු”
කියලා අපි කතා වුනා. පන්ති දෙකකට වෙන් උනාට අපේ යාළුකම ඒකෙන් නැති වෙන්නේ  නැහැ කියලා අපි හතර දෙනාම දන්නවා.



ඉස්කෝලේ 8 වසර පන්ති තිබුනේ තට්ටු තුනේ ගොඩනැගිල්ලක. මධු උඩම තට්ටුවේ පන්තියකටත්, අපි තුන්දෙනා දෙවෙනි තට්ටුවේ පන්තියකටත් සීමා උනා. අපි හතර දෙනාටම එකතු වෙන්න පුළුවන් වුනේ උදේ පන්සිල් ගන්න bell එක ගහන්න කලින් සුළු වෙලාවකටත් interval එකේ දී මිනිත්තු 10 කටත් වගේ පුංචි කාල සීමාවකට තමා. ඒකත් උදේට පන්තිය අතුගාන්න වෙන දවසට උදේ මුණ ගැහෙන්න වෙන්නේ නැහැ.
මේ සිදුවීම වුනු දවසේ මධුයි, සෙව්වන්දියි දෙන්නම ඉස්කෝලේ ඇවිල්ලා නැහැ. තාරුයි මායි විතරයි. තාරුකාට අපි ආදරේට කිව්වේ ‘තාරු’ කියලා. උදේ ඉදන්ම අපි බලාන හිටියේ interval bell එක ගහනකං. හැමදාම ඉතින් අපි බොහෝ දෙනෙක් ඒ වගේ තමා. ඇයි උදේට බාගෙට කාලානේ ගෙදරින් එන්නේ.


“ ට්‍රීං... ට්‍රීං... ට්‍රීං ...........”


bell එක ගැහුවා විතරයි අපි දෙන්නා අනිත් අයවත් පෙරලාගෙන එලියට දිව්වා අත් සෝදන්න. කොච්චර වේගෙන් දිව්වත් වැඩක් නෑ එතකොටත් පඩිපෙලේ යුද්ධෙ පටන් අරන්. කට්ටිය පොරකනවා පහලට බහින්න. අපේ පන්තිය hall එකේ කෙලවරේම පන්තිය නිසා අපි bell එක ගහද්දීම එලියට පැන්නත් පඩිපෙළ ලඟට එද්දී ඒක housefull. අනිත් වෙලාවට කොහොම උනත් ඒ වෙලාවට නම් කවුරු ඇඟේ හැප්පුනත් අපි දෙගොල්ලටම ගානක් නෑ. හැමෝගෙම එකම අභිප්‍රාය වෙන්නේ tap එක ළඟ සෙනග පිරෙන්න කලින් අත් සෝදාගන්න එක. නැත්නම් එතනත් පොරකන්න වෙනවා අත්
හෝදගන්න. අන්තිමට වතුර නාගෙන තමා එතනින් එන්න වෙන්නේ.


ඉතින් අපි දෙන්නත් පඩිපෙලේ යුධ පිටියට බැස්සා. ඒ වෙද්දී අපි දෙන්න තදින් අත් අල්ලාගෙන හිටියේ. ඒ දවස් වල අපි දෙන්නගේ පුරුද්දක් තිබුනා කොහේ ගියත් අත් අල්ලාගෙන තමයි යන්නේ. කොහොමහරි  පොරකන ළමයි ගොඩේ එහාට මෙහාට තල්ලු වෙලා පඩිපෙල  මැද හරියේදී වගේ මට තාරුගේ අත අතෑරුනා. මොනා කරන්නද අයෙ එයාගේ අත තියා එයාව වත් හොයාගන්න බැහැ ඒ කලබලේ අස්සේ. ඒත් එක්කම මාව ඉස්සරහට තල්ලු වෙලා ඉබේම වගේ පඩිපෙලේ ඉතුරු ටිකත් බැස්සුනා.බැහැලා බලනකොටත් තාරු පෙන්න නැහැ. එයා බැහැලා එනකන් කියලා මං පඩිපෙල අයිනට වෙලා පඩිපෙල දිහා බලාගෙන හිටියා.


විනාඩි දෙක තුනකට පස්සේ මෙන්න අනිත් ළමයි ගොඩ මැද්දෙන් තාරුගේ මූණ මතු උනා.


“හරි මෙන්න එයා එනවා” කියල හිතන ගමන් මං එයා  බහින දිහාව බලන් හිටියා. තාරුත් හොඳට හිනා වෙවී පඩිපෙල බහිනවා. ඒත්........................
පඩිපෙල බහින තාරුගේ මට මොකද්දෝ මන්දා අමුත්තක් පෙනුනා.මෙන්න මෙයා පඩිපෙල බහින්නේ කාගේදෝ අතක් අල්ලාගෙන ! මං ඉතින් ඒ අතේ අයිතිකාරයා කවුද බලන්න ඒ අත දිගේ උඩට මගේ ඇස් දෙක යැව්වා. එයා තරමක් මහතයි, උස අපේ තාරුගේ උසම වගේ , තරමක් සුදුයි, කොන්ඩේ කොටටම කපලා. එයා ඇඳන් හිටියේ........


දෙය්යෝ සාක්කී !!!!!!! 


එයා ඇඳන් ඉන්නේ නිල් පාට කොට කලිසමක්...........
අයිතිකාරයා පිරිමි ළමයෙක්!!!!!!!!!!


මේක දැක්කා විතරයි මට ‘බකස්’  ගාලා හිනා ගියා. ඒත් එක්කම තාරු මාව දැක්කා. එයත් මාත් එක්ක හොඳට  කටපුරා හිනා වුණා. ඒත් තප්පරයකින් වගේ මෙයා ගැස්සිලා බැලුවා කාගේ අතින්ද අල්ලන් ඉන්නේ කියලා. මොකද මෙච්චර වෙලා ඒ අතේ අයිතිකාරි කියලා එයා හිතන් හිටපු කෙනා එයාගේ ඇස් මානේ පඩිපෙල පාමුල එයා එනකන් බලන් ඉන්නවා.ඒ අතේ නියම අයිතිකාරයා කවුද කියල දැක්ක ගමන් මෙයා විදුලි වේගෙන් පඩිපෙලේ ඉතිරි ටික බැහැලා මා ලඟට ආවා.


මේ මුළු සිදුවීමටම ගත වුනේ තත්පර  පහක හයක වගේ සුළු කාලයක් උනාට විනාඩි ගාණක් යනකන් මට හිනාව නවත්තා ගන්න බැරි වුණා. ටික වෙලාවක් යනකන් තාරු dim වෙලා වගේ ලැජ්ජාවෙන් හිටියා. ඒත් ටිකකින් මෙයත් හයියෙන් හිනා වෙන්න ගත්තා. දැන් අපි දෙන්නම බඩවල් අල්ලාගෙන හිනා වෙනවා. වටේ ඉන්න ළමයිනුත් බලනවා මුන් දෙන්නට මොකද වෙලා තියෙන්නේ  කියලා. කොච්චර හිනා උනාද කියනවා නම් ඒ කලබලේ අස්සේ මෙයා අතින් අල්ලාගෙන ආපු පිරිමි ළමයා කවුද කියලාවත් අපිට බලාගන්න බැරි උනා.


මගේ සජීවී විස්තර විකාශය නිසා අනිත් යාළුවොත් මේ සිද්ධිය දැනගත්තා. ඉතින් දවස් ගානක් යනකන් තාරු අපෙන් bite උනා.


ඔන්න ඔහොමයි මගේ හොඳම මිතුරිය ජීවිතේ ප්‍රථම වතාවට පිරිමි ළමයෙකුගේ අතින් ඇල්ලුවේ. අපි හැමෝටම හා හා පුරා කියලා පිරිමි ළමයෙකුගේ අතින් ඇල්ලීම ඉතාමත් romantic, ආයේ ආයේ ආසාවෙන් මතක් කරන්න පුළුවන් සුන්දර සිදුවීමක් වුනත්, තාරුට නම් ඒක එහෙම උනේ නැහැ.
අදටත් ඒක මතක් කරන වෙලාවට තාරු කියන්නේ 


“ අනේ........ ඕක මතක් කරන්න එපා,  මට ලැජ්ජයි. ඔයාලට වෙන කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද “ කියලා.


මේ සිදුවීම වෙලා අවුරුදු 10 ක් විතර  ගතවෙලත් අපි කිසිම කෙනෙක් තවමත් දන්නේ නැහැ ඒ පිරිමි ළමයා කවුද කියලා. ඕක ගැන කතා කරලා, හිනා වෙන හැම මොහොතකම අපි අපෙන්ම  අහගන්න ප්‍රශ්නය 


“ ඇත්තටම එයා කවුරු වෙන්න ඇතිද???????????”


0 comments:

Post a Comment